Saturday 27th of April 2024

English Tamil
Advertiesment


කත්මණ්ඩු ගිය තක්කඩියෝ


2019-12-07 7954

(ටිරන් කුමාර බංගගමආරච්චි)

මේ සටහන ලියැවෙන විට කත්මණ්ඩුවේ මලල ක‍්‍රීඩා සටන ඇරඹී ඇත. ක‍්‍රීඩාවේ නෙත පිනවන චමත්කාරය මැවෙන්නේ ඒ ඉසව් හරහාය. මිනිස් සිරුරක ජවය උපරිම ප‍්‍රකාශන මාධ්‍යයක් බව නෙත් පුරා විදිය හැක්කේ ඒ තුළය. අපූරුය. එහෙත් ඒ විදිල්ල වෙනුවට ලිවිය යුතුව ඇත්තේ මෙරට ක‍්‍රීඩාවේ විදිමය. එනම් තක්කඩි පාලකයන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වහලූන් කරගෙන ඇති ආකාරයය. ඔවුන් නිතර සිතනුයේ ක‍්‍රීඩකයා පවතිනුයේ ක‍්‍රීඩා අමාත්‍යාංශය නිසා බවය. එහෙත් ක‍්‍රීඩකයා නැති ක‍්‍රීඩා අමාත්‍යාංශය සොහොන් කොතක් බව ඔවුහු නොදනිති. ඒ නිසාම ක‍්‍රීඩකයන් සිල්ලර කොට මේ අමනයන් හැසිරෙති. නව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හිස උදම්මාගත් උද්දච්චයෙකි. ඔහු සිතනුයේ ඔහු ක‍්‍රීඩාවේ කෙරුමා බවය.

හිටපු ලේකම් චුලානන්ද සිටින කල අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු මිට්ටෙකි. මුදුනා ලේකම්ය. ඒ ලේකම්ට එහා ගිය ක‍්‍රීඩක භූමිකාවක් ඔහු ආරුඪ කරගෙන සිටි බැවිනි. එහෙත් ඉවත් කොට රුවන් චන්ද්‍ර මහතා පත්වු පසු ක‍්‍රීඩාව ගැන දන්නා මහදැනමුත්තා ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මුතුගල වී ඇත. ඔහු අධ්‍යක්ෂ කෑල්ල පසකලා ජනරාල් කෑල්ලෙන් වැජඹෙන්නට පටන් ගෙනය. කත්මණ්ඩු යන මලල ක‍්‍රීඩා සන්නාමයට අපහසුතා ගොඩකට මුහුණ පාන්නට සිදුවිය. මේවා පරිපාලනයේ දෝෂය. එනම් ක‍්‍රීඩා අමාත්‍යාංශයේම වැරදිය. ඒවාට එරෙහිව ක‍්‍රීඩකයකු කට ඇරියහොත් මුතුගල පරල වන්නේය. වැඬේ අල කොට ඒ වැඬේ අල කොට ඇති බව කියා කිපෙන සුළු වැඩක් වී ඇත.

මලල ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් හෝටල් පහසුකම් නැතිව පැය ගණන් පාරේ රස්තියාදු වීම ගැන වචනයක් කීම මුතුගලගේ යකා අවුස්සනු ඇත. ඔහු මාධ්‍ය සාකච්ඡුා එහි සිට පවත්වමින් කියනුයේ හෝටලයක් ළග පැයක් දෙකක් රස්තියාදු වන එක වැඩක්ද යන්නය. එයින් නොනැවතී ඔහු කියනුයේ ඔවුන් ක‍්‍රීඩාව වෙනුවෙන් කරන කැප කිරීම මේ අය දන්නේ නැහැ යන්නය. නියම තැනට මුතුගල එන්නේ ඉන් පසුවය. මේ එන ක‍්‍රීඩකයෙකු වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියනයක් විතර පුහුණු සංචිතයේ ඉහල වියදම් කරනවා. එහෙම කරලත් මේ අය ගෝරනාඩු කරනවා.

දැන් විමසිය යුත්තේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මෙපමණක් මේ ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙන් කරන මුදල් මුතුගලගේ අම්මාගේ අප්පගේ බූදලයද ? මේවා මහජනතාව වන අපගේ බදු මුදල්ය. ක‍්‍රීඩා අමාත්‍යාංශයට අය වැයෙන් විශෘල මුදලක් වාර්ෂිකව වෙන් කරනුයේ ක‍්‍රීඩා සුබසිද්ධියට විනා ක‍්‍රීඩා පරිපාලනයට සැප විදින්නට නොවන බව මතක් කළ යුතුය. ක‍්‍රීඩාව යනු ක‍්‍රීඩකයාය. ක‍්‍රීඩකයා ගොඩ නගන්නට ක‍්‍රීඩා අමාත්‍යාංශය මුදල් වියදම් කළ යුතුමය. එය කුල කියන්නට තරම් මුතුගල පහත් අයෙකුවීම අපට අනුමාන කළ නොහැකිය.

ක‍්‍රීඩා අමාත්‍යාංශ බිහි කර ඇත්තේම ක‍්‍රීඩාවේ, ක‍්‍රීඩකයාගේ අභිවෘද්ධියටය. මුතුගල කතා කරනුයේ ඔහු අතින් මිලියන ගාණනක් දුන්න ගාණටය. ඒ මුදල් ඇත්තේම ක‍්‍රීඩකයන් සදහාය. මෙවැනි ළාමක තුට්ටු දෙකේ ක‍්‍රීඩා අධ්‍යක්ෂකලා ඕනෑ තරම් වසරක් පාසා ගත හැකි වුවත් රන් පදක්කම් දිනිය හැකි ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් ගොඩ නැගීම මිලියනයකින් කළ හැකි පහසු විජ්ජාවක් නොවන බව කිව යුතුය. ක‍්‍රීඩා ඇමැතිවරයා ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ මේ සිල්ලර කතා ප‍්‍රශ්න කළ යුතුය. ක‍්‍රීඩකයන් හෑල්ලූ කොට කතා කරන්නට අප‍්‍රමාණ වෙහෙස වන ක‍්‍රිඩකයෝ ඔවුන්ගේ වහලූන්ද ? මුලින්ම සුව පහසුව සපුරා ලිය යුත්තේ ක‍්‍රීඩකයන්ටය. ඔවුන් පාරවල් ගානේ රස්තියාදු වීම ජයග‍්‍රහණයකට යන ඔවුන්ගේ මානසිකත්වයට කොතරම් හානිකරද ? සුවදායි නින්ද ඔවුන්ට මොන තරම් වැදගත්ද ? වෙහෙසකර ගුවන් ගමනකින් පසු පාරේ පැය ගණන් රස්තියාදුවීම කතා නොකළ යුත්තක්ද ? එහෙව් කලෙක ක‍්‍රිඩා අමාත්‍යාංශය මිලියනයක් වියදම් කළා යැයි බාල කතා කීම මුතුගල වැනි බාලයකුට හැර කළ නොහැක්කකි.

මුතුගල නැතැයි ක‍්‍රීඩාව නැතිවන්නේ නැත. එහෙත් ක‍්‍රීඩකයා නැතිව ක‍්‍රීඩාව පැවතිය නොහැකිය. ක‍්‍රීඩා අමාත්‍යාංශයට මුදල් වෙන් කරනුයේ ක‍්‍රීඩක සුබ සිද්ධියටය. එය මුතුගල නිසා දෙන දෙයක් හෝ මුතුගල ක‍්‍රීඩකයන්ට දෙන දෙයක්ද නොවේ. ඒ නිසා කතා කරන්නට පෙර මුතුගල දහපාරක් සිතිය යුතුව ඇත.

ලංකාවේ නයි මුගටි සටනක නියැලෙන ක‍්‍රීඩා අමාත්‍යාංශය සහ ඔලිම්පික් කමිටුව මෙහෙිදි එක් වල්ලේ පොල්ය. මුතුගලගේ කතාවට රේන්ද අල්ලන ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ද ක‍්‍රීඩකයන්ට අවම පහසුකම් මත ක‍්‍රියාකරන හැටි උපදෙස් දෙනුයේ ‘‘ කෑ ගසන අය දිනයිද’’ බලමුකෝ වැනි පහත් රස වින්දනයක් ලබමිනි. ඔලිම්පික් කමිටුවෙන් දිවි ගෙවන මැක්ස්වෙල්ලා වැනි කතා කීම හිරිකිතය. ඔවුන් ක‍්‍රීඩාවට සොච්චමක් කර එවරස්ට් කන්ද තරම් තම සුඛවිහරණය භුක්ති විදින අයය. එහෙත් අන් ක‍්‍රීඩකයන්ට උපදෙස් දෙති. මෙම පහුගිය කාලය පුරාම අයාලේ ගිය ආයතනය දැන් මේවා නිසි ලෙස නියාමනය කළ යුතුය. ක‍්‍රීඩාවට නිසි තැන් ඒ හරහා ලබා ගත යුතුය. වසර ගණනාවක් එකතැන පල්වෙන මෙවැනි නිලධාරීන් ගැන බරපතලව සිතිය යුතුය.

ක‍්‍රීඩාව ඇත්තේ ක‍්‍රීඩකයා සතුවය. නිලධාරින් මේවා ගැන කර ඇත අතර ඒ ගැන කතිකාවක්ද ඇති නැති තරම්ය. ක‍්‍රීඩකයාගේ පහසුකම් ගැන උපදෙස් දෙන ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු බලධාරින්ගේ කත්මණ්ඩු වියදම් ගැන මාධ්‍යයක සටහන් කොට තිබුණි. ඒ අනුව බලන කළ කත්මණ්ඩු ගමනට ගිය ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ගේ දීමනා පමණක් රුපියල් ලක්ෂ එකසිය තිහ (130) ඉක්මවති. ඒ නිලධාරීන් 31 දෙනෙකුටය. මෙහි වැඩිම දීමනා ලබා දී ඇත්තේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට සහ ගණකාධීකාරි යන දෙදෙනාටය. ඔවුන් දෙදෙනොම ඇමරිකානු ඩොලර් 5670 බැගින් එක් අයෙකුට ලක්ෂ දහයට වැඩි මුදලක් ලබා දී ඇත. එසේනම් දැන් පෙරලා ඇසිය යුත්තේ අධ්‍යක්ෂ ජනරාල් මුතුගලට ක‍්‍රීඩා අමාත්‍යාංශය කත්මණ්ඩු දීමනා ලෙස ලක්ෂ දහයක් වෙන් කළේ කුමන කෙන්ගෙඩියකටද යන්නය. ගණකාධිකාරිවරයෙක් මෙතරම් මුදලකට ගෙන යන්නේ කත්මණ්ඩු සාග් උළෙලේ ගිණුම් හදන්නද ?

මීට අමතරව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකුට ලක්ෂ නවයකට වැඩි මුදලක් ගෙවා ඇත. ඒ ඔහු ක‍්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්ට ක‍්‍රීඩාව උගන්වන නිසා විය යුතුය. ක‍්‍රීඩා අධ්‍යක්ෂ වුවද ජනරාල්ට ළග නැති අයට ලක්ෂයක් පමණ දීමනා ලැබෙන තත්ත්වයක්ද මේ තුළ ඇත. මේ අරුම පුදුම වියදම්ය. ක‍්‍රීඩා අමාත්‍යෘංශයේ ප‍්‍රධාන තනතුර දරන නිලධාරියන් දෙදෙනෙක් කත්මණ්ඩු යන්නේ ලක්ෂ හතකට වැඩි දීමනා සහිතවය. ඒ අය හෝටල් ඉදිරිපිට රස්තියාදු වුනායැයි කොතනකවත් සටහන්ද ? මේ සියලූ දීමනා ලැබෙනුයේ කත්මණ්ඩු ඉන්නා දින ගාණටය. පදක්කමකට වසර ගණනාවක් නහින ක‍්‍රීඩකයකුට මිලියනයක් වියදම් කළා යැයි කියන ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට තරග පවත්වන කෙටි කාලයට මිලියනයක් දීමනා ගෙවනුයේ ඇයි ? කුමන ලාභයක් වෙනුවෙන්ද ? මේ අය සැප ගනිද්දි ක‍්‍රිඩකයෝ පදක්කමකට නසිති. එහෙව් අයට මැක්ස්වෙල් දිනයිද බලමු පන්නයේ කතා කියමින් හෑල්ලූ කරමින් සිටි. ක‍්‍රීඩාවේ හැමදාම දිනන්නේ මැක්ස්වෙල්ලාය.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම මැක්ස්වෙල්ලා වැනි තක්කඩිගෙන්ද මේ ක‍්‍රීඩා පරිපාලනයෙන් සමුගත යුතුව ඇත. එසේ නොවන්නට කොතෙක් රන් දිනුවත් ඒවා නියම දිස්නය නොදෙනු ඇත.

 

 

 

(රාවය)

 

Advertiesment